Monday, July 19, 2010

මන්ත්‍රීල වැඩියි

අපේ රටේ දිළිඳුකම තුරන් කරන්න බැරි ඇයි? ජනතාවට නඩත්තු කරන්න ඉන්න මන්ත්‍රීලා ගණන වැඩියි. නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා දහස් ගණනක් ඉන්නවා. මේ අය නඩත්තු කරන්න විතරක් දවසකට කෝටි ගානක් වැය වෙනවා. නගර සභා අහෝසි කරලා නගරාධිපති විතරක් ‍තෝරලා, ප්‍රාදේශීය සභා අහෝසි කරලා සභාපති විතරක්‍ තෝරලා, පළාත් සභා අහෝසි කරලා මහ ඇමති විතරක් තෝරලා අලුත් දේශපාලන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. එංගලන්තය, ඇමරිකාව ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රමය ගැන හොයලා බැලු‍වොත් නරකද? මේ රටේ වැඩ කරන පිරිස අඩුයි. වැඩ බලන පිරිස වැඩියි. විසි දෙනෙක් වැඩ කරනවා නම් වැඩ බලන්න ඕනේ එක්කෙනයි. ඒත් අපේ රටේ වැඩ කරන්න‍නෙ හතර දෙනයි නම් ඒ හතර දෙනාගෙ වැඩ බලන්න දහසය දෙනෙක් විතර ඉන්නවා. ඒ දහසය දෙනාම නඩත්තු කරන්න අර හතර දෙනා වැඩි බරක් අදින්න ඕනේ.

Wednesday, July 14, 2010

කොන්ක්‍රීට් සංවර්ධනය

අපේ රටේ සමහර දේශපාලකයො හිතාගෙන ඉන්නේ සංවර්ධනය කියන්නේ ලොකුවට පාරවල් හදන එකයි, කොන්ක්‍රීට් වලින් ඉදිකිරීම් කරන එකයි කියලා. මේ රටේ තාම තුන්වේල කන්න නැති ලක්ෂ ගානක ජනතාවක් ඉන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ තුන්වේල බඩ පිරෙන්න කන ජාතියක් බිහි කරන එක. හෙට අනිද්දට මැරෙන්න ඉන්න අයට බඩ පුරවාගෙන සැනසිල්ලේ අවසන් හුස්ම හෙලන්න අවස්ථාව උදා කරන එක. සංවර්ධනය පටන් ගන්න ඕනෙ එතැනින්. කෑම, ඇඳුම්, නවාතැන්, බෙහෙත් කියන පිළිවෙලටයි රට දියුණුව කරා යන්න ඕනේ. ඒකයි නියම සංවර්ධනය කියන්නේ.

Saturday, July 10, 2010

ලොතරැයි ක්‍රමය වෙනස් කරමු

අපේ රටේ දුප්පත්කම නැති වෙනවට දේශපාලකයො කැමති නෑ. එහෙම උනොත් රැස්වීම් වලට සෙනග ගෙන්න ගන්න බැරි වෙනවා. දැන් කරන්නේ රැස්වීම් වලට ආවෙ නැත්තන් සමෘද්ධිය කපනවා. ඒ හිංදා සමෘද්ධි කාරයො හැමෝම ඒකට බයේ පවුල් පිටින් රැස්වීම් වලට යනවා. දුප්පත්කම නැති කළොත් ඒ සෙල්ලම කරන්න බැරි වෙනවා. කෝටි ගණන් වල ජය මල්ල පෙන්නලා ජනතාව රවට්ටන්නෙ නැතුව, දහදාහේ තෑගි වලට ජය මල්ල බෙදුවා නම් දුප්පත්කම බලාගෙන ඉද්දි නැතිවෙලා යයි. දියුණු වෙන මිනිහට චාන්ස් එකක් දීලා බලන්න ඕනේ. මිනිහෙකුට දියුණු වෙනවා නම් දහදාහක් ඇති.

Monday, July 5, 2010

දිළිඳුකම තුරන් කරමු

අපේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද? සමහරු මේ වේල කෑවොත් ඊළඟ‍ වේල ෂුවර් නෑ. සමහරු උදේට කන්නෙ 10.00 ට. ඊට පස්සෙ දවල්ටයි, රෑටයි දෙකටම පොදුවේ හවස 4.00 ට කනවා. ඒ විතරක් නෙමෙයි. පුංචිම පුංචි කොමඩ් එකක් (පෝච්චියක්) දාපු පුංචි වැසිකිලියක් නැති මිනිස්සු කොච්චර නම් මේ රටේ ඉන්නවද? එහෙම තියෙද්දි අපි සංවර්ධනය ගැන පුරසාරම් දොඩවනවා. දුප්පතාගෙ ‍මේ දුක තේරෙන්නේ සැපට හැදුනු ධනවතුන්ට විතරයි. දුප්පත්කම අත්විඳලා, පෝසත් උන අයට දුප්පතුන්ගෙ දුක තේරෙන්නෙ නෑ. එයාලා ඒ පරිප්පුව කෑවානේ. ඒ හිංදා හැමෝම ඒ පරිප්පුව කන්න ඕනෙ කියලයි එයාලා හිතන්නේ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ පීඩිත ධනපතියො. ඒකයි අපේ රටේ දුප්පත්කම නැති කරන්න බැරි.

Sunday, July 4, 2010

ආයුබෝවන්

මෙරිල් පෙරේරා සමාජ සේවා පදනමෙහි නිල ‍බ්ලොග් අඩවිය මෙයයි. මෙම පදනම මගින් දැනට සිදු කර ඇති සමාජ සේවා කාර්යයන් හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සමාජ සේවා කාර්යයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම අඩවි‍යේ අරමුණයි.